සිංහල සාහිත්‍යය ඉතිහාසයේ සැඟවී ගිය 60 දශකය තෙක්‌ බලය පැතිර වූ ඩබ්ලියු. ඒ. සිල්වා ගුරු කුලය

ඩබ්ලියු. ඒ. සිල්වා 125 වැනි ජන්ම දින සංවස්‌තරය නිමිත්තෙන් කැලණිය සරසවියේ සිංහල අංශයේ කථිකාචාර්ය චින්තක රණසිංහ, දිවයින පුවත්පතට ලියූ ලිපියකි.

ප්‍රවේශය

ඩබ්ලියු. ඒ. සිල්වා පිළිබඳ සරච්චන්ද්‍ර ප්‍රමුඛ පේරාදෙණි ඇදුරන් ඇති කළ සාකච්ඡාව තුළ ඔහුගේ භූමිකාව විවරණය කෙරුණේ ඒක පාර්ශ්වීය ආකාරයෙන්ය යන චෝදනාව ද වසර ගණනාවක සිට නැගෙමින් පවතී. යථාර්ථවාදී ප්‍රවේශය මත පිහිටා සිංහල නවකතාව විවරණය කළ සරච්චන්ද්‍ර තම The Sinhalese novel කෘතියේ සිල්වා වර්ග චරිත, අද්භූත සිදුවීම හා යථාර්ථයෙන් පලාගිය ලේඛකයකු ලෙස හැඳින්වීය. ඒ සියල්ල මධ්‍යයේ සිල්වා විශාල පාඨක පිරිසක්‌ වෙත බලසම්පන්න මාධ්‍යයක්‌ ලෙස නවකතාව රැගෙන ගිය, පියදාස සිරිසේන හා එම්. සී. එෆ්. පෙරේරා මෙන් නවකතාව සමාජ සංශෝධනයේ මාධ්‍යයක්‌ බවට පත්කර නොගත් සිංහල පාඨකයාට නව දැක්‌මක්‌ හඳුන්වා දුන් නවකතාකරුවකු ලෙස ද හඳුන්වාදීමට උත්සාහ කළේය.

පහත දැක්‌වෙන්නේ සරච්චන්ද්‍ර තම පොතෙහි ඩබ්ලියු. ඒ. සිල්වා නමින් ලියූ පරිච්ඡේදයෙහි අවසාන කොටසේ එන යථෝක්‌ත අරුත් දනවන වැකි කීපයයි.

‘For, the novel has always been a powerful medium for the dissimination of modern ideas and for propaganda on social questions.Though W. A. Silva did not employ the novel as an obvious vehicle o reform, as did M.C.F. Perera and Piyadasa Sirisena, and almost every other novelist of the day, by the sort of ideal heroes and heroines he dipicted he introduced a new vision to the sinhalese reader on many an important matter’

130 පිටුව – Sinhalese Novel – 1950 – ගුණසේන සමාගම

එහෙත් සරච්චන්ද්‍ර ලියූ එම වාක්‍ය කීපය තුළ ගැබ් වූ අරුත් ඉදිරියට ගෙනයැම වෙනුවට සරච්චන්ද්‍ර අනුගාමිකයන් දිගින් දිගටම සිදු කළේ සිල්වාගේ බොළඳ කතා කලාව උදාහරණ ලෙස ගෙන කර්කෂ ලෙස විවේචනය කිරීමයි. මහාචාර්ය තිස්‌ස කාරියවසම් ‘සිංහල ප්‍රබන්ධ කතාවේ විකාශනය’ (1866-1944), සරච්චන්ද්‍ර වික්‍රමසූරිය ‘විජයබාකොල්ල විවරණය’, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු සහ කථිකාචාරිණී අනුරුද්ධිකා කුමාරි කුලරත්න ‘නවකතා විග්‍රහය’ වැනි කෘතිවල එම තත්ත්වය දැකිය හැකිය.

සිල්වාගේ කතා කලාව පිළිබඳ සරච්චන්ද්‍රමය දෘෂ්ටි කෝණයෙන් මිදී සාධාරණ තුලනාත්මක විවරණයක්‌ ඉදිරිපත් වනුයේ මහාචාර්ය මිණිවන් පී. තිලකරත්නගේ ඩබ්ලියු. ඒ. සිල්වා ‘සත්‍යය හා මිත්‍යාව’ යන කෘතියෙන් පමණි. එක්‌දහස්‌ නමසිය අනූවේදී පළ වූ මෙම පොත සරච්චන්ද්‍රගේ විවරණ තුලනාත්මකව ඉදිරිපත් කරමින් වෝල්ටර් ස්‌කොට්‌ වැනි නවකතාකරුවන් සමඟ සසඳමින් සිල්වාට සාධාරණත්වයක්‌ ඉටුකිරීමට ගත් ප්‍රශස්‌ත ශාස්‌ත්‍රීය ප්‍රයත්නයකි. එහෙත් එම ප්‍රයත්නය ඉදිරියට ගෙනයමින් සරච්චන්ද්‍රගේ ප්‍රවේශය ඉක්‌මවා යා හැකි නිර්භීත විචාරකයන් මෙරට සිංහල අධ්‍යයන අංශ තුළ හෝ බාහිරව ගොඩ නැඟුණු බව නොපෙනේ. ගොඩ නැඟුණ ද ඩබ්ලියු. ඒ. සිල්වා පිළිබඳ අධ්‍යයනයක නිරත වූ බව නොපෙනේ.

මෙබඳු පසුබිමක්‌ තුළ ඩබ්ලියු. ඒ. සිල්වා අරබයා අප ඉදිරිපත් කිරීමට අදහස්‌ කරන්නේ කුමන විග්‍රහයක්‌ද?

අපගේ විමර්ශනය

වර්තමාන සාහිත්‍ය කලා විචාරයේ එක්‌ ප්‍රධාන පාර්ශ්වයක්‌ නියෝජනය කරන්නේ විචාර න්‍යායයි. (Critical theory) එයින් අදහස්‌ වන්නේ සාහිත්‍ය කලාව ආදිය හුදෙක්‌ එහි ශිල්පීය දියුණුව හා ස්‌ථාපිත ජීවන දර්ශනයක්‌ මගින් විමර්ශනය කිරීම වෙනුවට සමාජ – සංස්‌කෘතික කාරණාවන්හි විවිධ පාර්ශ්ව දෙසට අවධානය යොමුකරමින් විමර්ශනයක නිරත වීමයි. එහිදී දාර්ශනික සංවාදයක්‌ නිර්මාණය වූ බව පෙනේ. මාක්‌ස්‌වාදයෙහි පැරණි න්‍යායයික ප්‍රවේශය ප්‍රශ්න කරමින් නව ප්‍රවේශ ගොඩනැඟුණු අතර මනෝවිද්‍යාව, සංස්‌කෘතික අධ්‍යයනය ආදිය පෙරට පැමිණියේය. මෙහිදී මතු වූ එක්‌ ප්‍රධාන ප්‍රවේශයක්‌ වන්නේ අතාර්ථික භාවයේ ප්‍රගතියයි. (Progress of irrationalism) ප්‍රැන්ක්‌පර්ට්‌ ගුරුකුලය නම් මාක්‌ස්‌වාදී පක්‍ෂපාතිත්වයක්‌ සහිත බුද්ධිමය කණ්‌ඩායම මෙම ප්‍රවේශය මතුවිය.

මෙය සාම්ප්‍රදායික මාක්‌ස්‌වාදී චින්තන රටාව ප්‍රශ්න කළ අවස්‌ථාවකි. වර්තමානයේ බොහෝ ප්‍රචලිත පශ්චාත් නූතන ප්‍රවාහයේ එක්‌ පාර්ශ්වයක්‌ මතුවන්නේ මෙම ගුරු කුලය ක්‍රියාකාරිත්වය තුළය. (මේ පිළිබඳව සිංහලෙන් යම් දුරකට ලියවී ඇති නිසා දිගින් දිගටම නොලියමු.)

තර්කානුකූල ප්‍රබුද්ධ චිත්තනය ඒ ආකාරයෙන් ම පිsළිගැනීම වෙනුවට එයින් පිටත පවතින භෞතික හා මානසික සාධකවල බලපෑම වෙත මෙහිදී අවධානය යොමුවිණි. ඇත්ත වශයෙන්ම මෙහිදී මූලික දාර්ශනික ධාරා දෙකකට මතවාදී පහර ලැබුණු බව පෙන්වා දිය හැකිය. ඒ මතවාද දෙක නම්,

1. ලිබරල් මතවාදය

2.මාක්‌ස්‌වාදය මත පිහිටා වර්ධනය කළ යථාර්ථවාදී මතවාදය.

යථෝක්‌ත මතවාද දෙකම සමාජ ප්‍රගමනය වඩාත් දියුණුව වෙත ක්‍රමිකව යන ගමන යනාදිය විශ්වාස කළ අතර තර්කය, ඥානය, අවබෝධය පිළිබඳ විශ්වාසය තැබීය. එහෙත් මෙම අභිනව මතවාදී මැදිහත්වීම තුළ එබඳු විශ්වාස පරම කිරීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක්‌ වූ අතර සංස්‌කෘතියේත්, කලාවේත් සමස්‌ත මිනිස්‌ ජීවිතවලත් ගුඪ, අතාර්කික පාර්ශ්ව මතුකිරීමේ දාර්ශනික හා සංස්‌කෘතික ක්‍රියාවලියක්‌ ඉස්‌මතු වූ බව පෙනේ.

ඩබ්ලියු. ඒ. සිල්වා විවේචනය කර මාර්ටින් වික්‍රමසිංහ ඉදිරියට ගෙන ඒමේදී සරච්චන්ද්‍ර න්‍යායයික පදනම ලෙස තෝරා ගත්තේ ලිබරල් මානවවාදී විචාර ක්‍රමයයි. එම විචාර ක්‍රමය තුළ සිල්වා අද්භූත රොමැක්‌ටික්‌වාදී ලේඛකයකු විය. එහෙත් සරච්චන්ද්‍ර ගේ විචාර ක්‍රමයෙන් ඔබ්බට ගොස්‌ සිල්වා දෙස බැලීමට යුරෝපයේ ඇති වූ මෙම මතවාදී පෙරළිය භාවිත කළ හැකි අතර එවැන්නක්‌ තුළ සිල්වා සරච්චන්ද්‍රමය ප්‍රවේශයෙන් ඔබ්බේ තැබිය හැකිය.

අප මෙහිදී ඉතාමත් සුළු වශයෙන් එබඳු උත්සාහයක නිරත වෙමු.

සිල්වාගේ ක්‍රියාකාරිත්වයේ සංස්‌කෘතික අනන්‍යතාවය හඳුනා ගනිමු

මාර්ටින් වික්‍රමසිංහ බොහෝ විට සිල්වාට සාපේක්‍ෂව ප්‍රගතිශීලී දියුණු යථාර්ථවාදී සවිඥනිකයා ලෙස සරච්චන්ද්‍රගේ විග්‍රහයට හසුවෙයි. එය සත්‍යයකි. වික්‍රමසිංහ දොස්‌තයෙවුස්‌කි, ටොල්ස්‌ටෝයි, ලෙනින්, ට්‍රොට්‌ස්‌කි ගැන කියවන්නේ 1918, 1920 තරම් දුර කාලයකය. එම උරුමය සිල්වාට මියයන තෙක්‌ම තිබුණේ නැත. එහෙත් සිල්වා ලෝක උරුමය වෙත යොමු වූ ඔහුටම අනන්‍ය වූ විධි ක්‍රමයක්‌ තිබිණි. ඔහු රුචි කළ ලේඛක පිරිසක්‌ වූහ. බටහිර හා පෙරදිග සාහිත්‍යයෙන් ඔහු ලද ආභාසයේ එක්‌තරා ස්‌වරූපයක්‌ තිබිණි.

ඩබ්ලියු. ඒ. සිල්වා කුමාරතුංග හා හෙළ හවුල සමඟ සබඳතා පැවැත්වීය. හෙළ හවුලේ බොහෝ සාමාජිකයන් රැස්‌ වී කමින් බොමින් කවි කතා රසවිඳින පානදුරේ හෙවණ නමැති ස්‌ථානයකට සිල්වා සම්බන්ධ වූ ආකාරය අනඳපිය කුඩාතිහි තම කවි සයුරේ 165 වැනි පිටුවේ සඳහන් කරයි.

රැ. තෙන්නකෝන්ගේ කවි පොත් කියවීමට හෙළ හවුලේ අනුගාමිකයන් හැරුණු විට එහි ගොස්‌ ඇත්තේ සිල්වා පමණි. මෙය සැලකිය යුතු කරුණකි. හෙළ හවුල පිළිගත් නවකතාකරුවා සිල්වා බවත් හෙළ හවුල හා සිල්වා අතර මතවාදී සම්බන්ධයක්‌ තිබූ බවත් මෙයින් පෙනේ. එය තවදුරටත් තහවුරු කළ හැකි සාක්‍ෂි ‘කතා රජ කතාව’ ඩබ්ලියු. ඒ. සිල්වා චරිතය ලියූ කේ. එච්. ඒ. ධර්මසේකර සපයයි. ඒ මෙසේය.

‘තීරණාත්මක සාධක සහිතව මෙසේ කැරුණු සංවාදයෙන් ඉක්‌බිති විද්වත් මුනිදාස කුමාරතුංග මහහෙළයාණෝ අප කථානායකගෙන් ඉල්ලීමක්‌ කළහ. උදව්වක්‌ ඉල්ලමි. මගේ දුප්පත් බස වෙනුවෙන් උදව්වක්‌ ඉල්ලමි. නගන්න සිල්වා මහත්මයා, වාලමිකී රාමායණය අපේ බසට ඒ වැඩේට මහ පිනැති මහකතාකරු ඔබ තමා මේ වැනි කතාවෙන් කැරුණු ඒ වැදගත් ආයාචනය ඩබ්ලියු. ඒ. සිල්වා සතුටින් ඉවසුවේය. සිය බස වෙනුවෙන් ඒ තරම් සේවාවක්‌ කරනු සිතැති බව පැවසුවේය. එතැන් පටන් අතළොස්‌සක්‌ ගතවන ඒ යෝධ කාර්යය ගැන වෙහෙසුණේය.’

කතා රජ කතාව 275 හා 276 පිටු

මෙයින් පෙනෙන්නේ රාමායණය සිංහලට පරිවර්තනය කිරීම සඳහා සිල්වාට ආරාධනා කර ඇත්තේ කුමාරතුංග බවයි.

මෙබඳු සාධකවලින් පෙනී යන්නේ කුමාරතුංග විශ්ව සාහිත්‍යය සිංහලින් නැඟීම සඳහා සිල්වා තෝරා ගත් බවයි. එනම්, සිල්වා කුමාරතුංග විසින් ප්‍රාමාණික පරිවර්තකයකු ලෙස පිsළිගත් බවයි. මෙම තත්ත්වය තවදුරටත් විග්‍රහ කළ හැකිය. මේ එළිවන්නේ සරච්චන්ද්‍ර හා පේරාදෙණි ගුරුකුලයේ යථාර්ථවාදී ප්‍රවේශයට ඔබ්බෙන් පැවති සංස්‌කෘතික සම්බන්ධතාවල ස්‌වරූපයයි. මෙය තවදුරටත් විග්‍රහ කළ හැකිය.

සිල්වා බෙහෙවින් සකුව මුසු හෙළ බසින් ලියූ අතර කුමාරතුංග ද තම ජීවිතයේ අවසාන වසර කීපය තුළ පැවති හුදු හෙළ උමතුවට පිවිසීමට පෙර සකු මුසු බසින් ලියුවේය. එසේම ඔහු ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ කෘති සිංහලට පරිවර්තනය විය යුතුය යන අදහස දැරූ බව මෙයින් පෙනේ. මෙම ශාස්‌ත්‍රීය සබඳතා සිල්වාගේ සංස්‌කෘතික සංකල්ප ලෝකය විමර්ශනය කිරීමට මනා පිටිවහලක්‌ සපයයි.

සිල්වාගේ අනුගාමිකයෝ

කුමාරතුංගට මෙන්ම සිල්වාට ද අනුගාමිකයන් සිටියේය. සංවිධානයක්‌ ලෙස නමක්‌ යටතේ ඉස්‌මතු නොවුනද ඔවුහු සිල්වා වෙනුවෙන් ලිපි, ලේඛන ගණනාවක්‌ පළ කළෝය. මෙය ලාංකීය සාහිත්‍ය සංවාදය තුළ යටපත් වූ ගුරුකුලයක්‌ ලෙස හැඳින්විය හැකිය. හේමපාල මුනිදාස, කේ. බී. සුගතදාස, සිසිර කුමාර මානික්‌කාරච්චි, ඇල්. ඇම්. ද සිල්වා මෙම අනුගාමිකයන් අතර ප්‍රමුඛයන් ලෙස හඳුනාගත හැකිය. සරච්චන්ද්‍ර – වික්‍රමසිංහව ප්‍රමුඛ කොටගනිමින් සිල්වා පසෙකටලීම මෙම පිරිසගේ මහත් සිත් වේදනාවට හේතු වූ බව මෙම ලිපි ලේඛන පිරික්‌සීමෙන් දැකිය හැකිය. 1990 දී ඊ. ටී. කන්නන්ගර සංස්‌කරණය කළ ‘මාර්ටින් වික්‍රමසිංහගේ නවකතා ඩබ්. ඒ. සිල්වා දුටු හැටි’ මෙම ලේඛන අතර වැදගත් ලේඛනයකි. මෙම කෘතියේ අන්තර්ගත වන්නේ එදිරිවීර සරච්චන්ද්‍ර ගේ The sinhalese Novel කෘතිය විවේචනය කොට සිල්වා තම සංස්‌කාරකත්aවයෙන් පළ වුණ නුවණ හා තිලක යන සඟරාවලට ලියූ ලිපි සමූහයකි. මෙම පොතට ජනාධිපති ආර්. ප්‍රේමදාස පවා පණිවිඩයක්‌ නිකුත් කිරීමෙන් පෙනී යන්නේ ඒ හිටපු ජනාධිපතිවරයා ද සිල්වාගේ පාඨකයකු බවයි. සරච්චන්ද්‍ර ප්‍රමුඛ පේරාදෙණි ගුරුකුලය කර්කෂ ලෙස විවේචනය කිරීම සිල්වා මෙම ලිපි පෙළ මගින් සිදු කරයි.

ඩබ්ලියු. ඒ. සිල්වා පිළිබඳ දිගින් දිගටම පෙනී සිටි තවත් ලේඛකයකු වන්නේ. සිසිර කුමාර මානික්‌කාරච්චිය. වංශනාථ දේශබන්ධු යන අනවර්ථ නාමයෙන් ඔහු ලියූ ‘සාහිත්‍ය කොල්ලය’ යන කෘතිය පේරාදෙණිය ගුරුකුලය කර්කෂ ලෙස විවේචනය කරන අතර ඩබ්ලියු. ඒ. සිල්වාට සිදු වූ අසාධාරණය පිළිබඳ කම්පා වෙයි.

සමකාලීන ලේඛකයන් අතර ඩබ්ලියු. ඒ. සිල්වා ප්‍රමුඛ සෙස්‌සන් ජාතිමාමක විශිෂ්ටයන් වූ අතර මාර්ටින් වික්‍රමසිංහ පමණක්‌ එසේ නොවූ බව කතුවරයා පවසන්නේ කර්කෂ ආකාරයෙනි.

‘සිංහලය රාජ්‍ය භාෂාව බවට පත්වීම අග්‍රපලය කොටැ ගනිමින් ගතවුණු දශක තුන හතරක පමණ කාලය තුළ ලියලාගෙන ආ සිංහල සාහිත්‍ය නවෝදයට පොහොර යෙදූ මුනිදාස කුමාරතුංග, පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා, හේමපාල මුනිදාස, ආනන්ද රාජකරුණා, ජී. එච්. පෙරේරා ආදී ලේඛකයන් හා කවීන් අතරට ගැනුණු එක්‌තරා ලේඛකයෙක්‌ මේ විනාශකාරී වැඩපිළිවෙළේ ආදි කර්තෘ විය. ඔහු වූ කලී දැනුදු අප අතරෙහි වෙසෙන මාර්ටින් වික්‍රමසිංහ, ඇම්. බී. ඊ. මිස සෙස්‌සකු නොවේ. ස්‌වකීය සමකාලීන ලේඛකයන්ගේ ලේඛන ශෛලිය සමඟ එක මට්‌ටමේ සිටින්නට ඔහුට නොහැකි විය. දුර්වල පද යෝජනාවන්ගෙන් හා අවියත් ශෛලීයෙන් පොත පත කළ මාර්ටින් වික්‍රමසිංහ පාඨක රුචිය දිනාගැනීම අතින් ලබා සිටියේ ඩබ්ලිව්. ඒ. සිල්වා, හේමපාල මුනිදාස ආදී ලේඛකයන්ට වඩා පහත් ස්‌ථානයකි. පොත් හුඟක්‌ ලියූ නමුත් ඔහු සිංහල පාඨකයාට දුන් දේ ඉතා ටිකය.’

සාහිත්‍ය කොල්ලය

නිවැරැදි සිංහල ලිවීමට නොහැකි ජාතික උරුමය අඛණ්‌ඩව පවත්වාගෙන නොයන ලේඛකයකු ලෙස මාර්ටින් වික්‍රමසිංහට පහරදීම මෙහිදී දැකිය හැකිය. කුමාරතුංග, ඩබ්ලියු. ඒ. සිල්වා හා අවශේෂ කොළඹ කවියන් මෙහිදී ජාතික උරුමය රකිමින් සාහිත්‍යකරණයේ නිරත වූ ලේඛකයන් ලෙස පෙන්වා දිය හැකිය.

මෙයින් පෙනී යන්නේ කොළඹ කවියන් හා හෙළ හවුල යන පිරිස්‌ දෙක සමඟ මතවාදීව අත්වැල් අල්ලාගෙන යන නූතන සාහිත්‍යකරුවා ලෙස ඩබ්ලියු. ඒ. සිල්වාව හැඳින්වූ අතර මාර්ටින් වික්‍රමසිංහ මේ මතවාදවලින් පිටමං කළ බවයි.

වංශනාථ දේශබන්ධුගේ කෘතියේ සමස්‌තය විමසා බැලීමේදී කැපී පෙනෙන්නේ සරච්චන්ද්‍ර හා මාර්ටින් වික්‍රමසිංහ යන දෙදෙනාත් ගුණදාස අමරසේකර, සිරි ගුණසිංහ ප්‍රමුඛ පේරාදෙණි ගුරුකුලයන් දැඩි උපහාසයෙන් යුතුව විවේචනය කිරීමයි. එහෙත් ඔහු ඉදිරිපත් කරන න්‍යායාත්මක තර්ක දුර්වල වන අතර මතවාද විමසීම වෙනුවට පටු සුචරිතවාදය හා වියරණ වැරදි පමණක්‌ යොදාගැනීම මෙහිදී කැපී පෙනෙයි. බටහිර සාහිත්‍යය පිළිබඳ කිසිදු ප්‍රාමාණික දැනුමක්‌ නොපෙන්වීම මෙම කෘතියේ කැපී පෙනෙන්නකි.

පනහ දශකයේදී ප්‍රථම වරට මුද්‍රණයෙන් නිකුත් වූ ඇල්. ඇම්. ද සිල්වාගේ ‘විචාර විවරණය’ ඩබ්ලියු. ඒ. සිල්වා අනුගාමිකයන් අතරින් පළ කළ වඩාත් ශාස්‌ත්‍රීය කෘතිය ලෙස පෙන්වා දිය හැකිය. වසර 40 කට පමණ පසු නැවත එය තම පරිණත වියේදීත් පළකිරීමෙන් පෙනී යන්නේ කතුවරයා තම මතය දශක ගණනාවක්‌ තිස්‌සේම අඛණ්‌ඩව ගෙන යමින් සිටි බවයි.

වංශනාථ දේශබන්ධු මෙන් නොව ඇල්. ඇම්. ද සිල්වා ශාස්‌ත්‍රීය ශික්‍ෂණයකින් තම කෘතිය රචනා කරයි. අපහාස උපහාසාදිය වෙනුවට පාඨාන්තර සංසන්දනය යොදාගැනීම මෙහිදී අගය කළ යුතුයි.

සමාලෝචනය

ඩබ්ලියු. ඒ. සිල්වාට ගරු කළ ප්‍රධාන සිංහල ලේඛකයන් අතර අයි. ඇම්. ආර්. ඊරියගොල්ල, කේ. බී. සුගතදාස, මාගම් තෙන්නකෝන් මෙන්ම කොළඹ යුගයේ සුප්‍රකට කවියකු වන ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ද දැක්‌විය හැකිය. ඊරියගොල්ල හා කේ. බී. සුගතදාස පිළිවෙළින් ‘මනුතාපය’ හා ‘දේව හස්‌තය’ යන නමින් සුප්‍රකට ප්‍රංශ නවකතාකරුවන් වන වික්‌ටර හියුගෝ සහ ඇලෙක්‌සැන්ඩර් දියුමාගේ නවකතා අනුවාදනය කළෝය.

මේ අනුව පෙනී යන්නේ සිල්වා අනුගාමිකයන් පරිවර්තන මාර්ගය වෙනුවට අනුවාද මාර්ගය ප්‍රිය කළ බවත්ය.එසේම මෙම පිරිසේ ඇතැමෙක්‌ (උදා – ඊරියගොල්ල) හුදු හෙළ වහර භාවිතයට ගත් බවත් තවත් පිරිසක්‌ සකු මුසු බසට ළැදි වූ බවත් නිරීක්‍ෂණය කළ හැකිය.

ඩබ්ලියු. ඒ. සිල්වා ගේ අනුගාමික පිරිස ලෝකය අර්ථකථනය කළේ රසවත් කතාන්දර කීම සාහිත්‍යයේ ප්‍රධානතම මෙහෙවරක්‌ ලෙස සැලකෙන ලෝක දෘෂ්ටියකින් බව පෙනේ. ඔවුන්ට අනුව සියලු විදේශීය සාහිත්‍යයන් අනුවාද මගින් දේශීයකරණය කළ යුතු අතර නිවැරැදි වහර පරම දේවත්වයෙහි ලා සැලකිය යුතුය. ඩේවිඩ් කරුණාරත්න පවා මෙම මතවාදයේ සිටි බව නිරීක්‍ෂණය කළ හැකි අතර මේ අයගේ සමාජ බලය 60 දශකයේ අවසානය පමණ වනතෙක්‌ සිංහල සාහිත්‍යය සංස්‌කෘතිය තුළ එක්‌ ධාරාවක්‌ ලෙස ක්‍රියාත්මක වූ ආකාරය නිරීක්‍ෂණය කළ හැකිය.

සරච්චන්ද්‍ර ප්‍රමුඛ පේරාදෙණියට වඩා වෙනස්‌ ලෙසකින් සාහිත්‍යය හා බැඳුණු සංකල්ප අර්ථකථනය කරගැනීම මෙම පිරිසගේ අභිප්‍රාය වූ අතර බටහිර ගැති බවට ඔවුහු වෙර වැඩූහ. බටහිර දේ ස්‌වීයකරණය කිරීම ඔවුන්ගේ අභිමතය විය. මේ අනුව 20 වැනි සියවසේ සිංහල සාහිත්‍යය ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී මෙම පිරිස පිළිබඳ අවධානය යොමුකිරීම අතිශයින්ම වැදගත් වන අතර එය වර්තමානයේ මෙම විෂය ප්‍රදේශය අධ්‍යයනය කරන අයගේ වගකීමක්‌ ලෙස ද සැලකිය හැකි බව අපගේ විශ්වාසයයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *